කෙටි කතා

කෙටි කතා

දිනිදු ප්‍රාර්ථන ලියනගේ විසින් රචනා කරනු ලබන කුතුහලය සොයා යාම කෘතියේ හත්වන කොටස. 

 

   මිනිසෙකුගේ හැඩය ගත්, අත්තටු ඇති ඉතා විශාල කුරුල්ලෙක් ගැහැනියක විලාප නගන්නාක් වැනි ශබ්දයකින් කෑගසමින්, අප ආසන්නයෙන්ම පියඹා ගියේය.එය දුටු මට මගේ පණ නැතිවී යන්නාක් වැනි හැඟීමක් ඇති විණි. එම සත්වයාට තිබුණේ දරුණු විලෝපිකයෙකුගේ පෙනුමය.බෙහෙතකටවත් මිනිස් වාසයක් ඇස නොගැටුණු මේ වනාන්තරයේ මෙසේ විපරීත වූ අරුම පුදුම ජීවින් සිටීම බරපතළ කරුණක් නොවේය යන හැඟීම ද විටෙක මට ඇතිවිය. වේගයෙන් පියඹා ගිය පක්ෂියා අසල ඇති ගසක වැසුවේය. බියවී සිටි අපි සැවොම තවත් ගසකට මුවා වී ඒ දෙස බලා සිටියෙමු. වනයේ ඔබ මොබ විහිදී ඇති ගස්වල අතුපතර සහ වැල් ඇතුලු වෘක්ෂ ලතාදිය නිසා අපට එම සත්වයාව හොඳින් දර්ශනය නොවුණි.ඌ යමක් කරන්නාක් වැනි දෙයක් යාන්තමින් පෙනුණු බව කිවයුතුමය.පැහැදිලිව පෙනුනේ උගේ පාද යුගල පමණක් වීම අවාසනාවකට කරුණක් විය.මිනිස් පාදයකට බෙහෙවින්ම සමානකම් දැක්වූ ඒ පාද යුගලේ පැහැදිලි ලෙස වෙනස්කමක් මාහට දක්නට ලැබුණි.එනම් එක් පාදයක මිනිසෙකු විසින් කරන ලද්දකැයි කිවහැකි පරිදි නිමවන ලද රත්‍රන් වැනි මුදුවක් දක්නට ලැබීමයි.

දිනිදු ප්‍රාර්ථන ලියනගේ විසින් රචනා කරනු ලබන කුතුහලය සොයා යාම කෘතියේ හයවන කොටස. 

 

සුදාර අයියා අපව යක්ෂ දූවට ඇරලවීය.විශාල කඳන් සහිත රූස්ස ගස් වලින් හෙබි යක්ෂ දූව මනරම් හා සිත්කළු විය. කිසිදා නොදුටු පුෂ්පයන්ගෙන් වැසී ගිය හා ඇතැම්විට දිය ඇළි ද දක්නට ලැබෙන එම දූපත සැබැවින් ම රමණීය පාරාදීසයක් විය.හදිසියේම නෙත ගැටුනු දර්ශනයකින් අප මහත් සන්තෘප්තියට පැමිණියෙමු.ඒ කැළෑව මැද්දෙන් වූ විශාල වක්‍රාකාර පොකුණකි. නිල්වන් දියෙන් පිරී ඉතිරී ගිය එහි විවිධ වර්ගයේ විචිත්‍රවත් වර්ණ වලින් හෙබි විශාල,කුඩා මසුන් ඔබමොබ පීනමින් සිටිනා අයුරු දුටු විට ගතේ සිතේ ඇති සියලු පීඩාවන් දුරුව යයි.
නිලට නිලේ දිලෙනා රූස්ස ගස් සුළඟට වැනෙන්නේ සුළඟ නම් මියුරු ගීත රාවයට නැළවෙන්නාක් මෙනි. ඇතැම්විටෙක පොකුණේ එහා කෙළවරට දිය බීමට එන මුව පොව්වන් දුටුවිට සිතට දැනෙන්නා වූ හැඟීම කියා ගත නොහැක. පලතුරු කෑමට එන ගිරවුන්ගේ සහ අනිත් කුරුල්ලන්ගේ ගීත නාදය සවනට එක් කරන්නේ අමුතුම ඝනයේ මිහිරියාවකි. පොකුණේ එහා කෙළවරට දිය බීම සඳහා එන දිවියන්ගෙන්ද , දුටුවිට සලිත වී යන කැන්ද කොළයක තරම් ඇති පෙණය පුම්බාගත් නාගරාජයින්ගෙන්ද අඩුවක් නොවූ ඒ දූපත දෙස බලන ඕනෑම අයෙකුට ඒ දූපත දිගුකලක සිට මිනිස් වාසයෙන් තොර වූවක් බව බැලූ බැල්මෙන්ම වටහාගත හැක.මෙසේ සුව විඳිමින් සිටි අපව තවත් සිනාවට ලක් කරමින් ශාන්ගේ කකුලේ මහපට ඇඟිල්ල ඉලක්ක කරගනිමින් ගිරවෙක් වර්චස් පිඩක් හෙළුවේය.
"ඊයියා" කියමින් කණ්ඩායමේ කෙල්ලන් දෙදෙනා ශාන්ට සමච්චල් කර හිනැහෙන්නට විය. තරහින් පුපුරමින් උන් ශාන් "මං ඔය ගිරවට කරනව හොඳ වැඩක්" කියමින් අහස දෙස බැලුවේය. ඒත් සමඟම සිදු වූ දෙයින් අපි භීතියෙන් ඇළලී ගියෙමු.

දිනිදු ප්‍රාර්ථන ලියනගේ විසින් රචනා කරනු ලබන කුතුහලය සොයා යාම කෘතියේ පස්වන කොටස.

 

 

 පෙරදා පරිදිම එදා ද එසේ ම විය.මා අවදි කරනු ලැබූයේ චාරිකාවට සූදානම් වූ මාගේ මිතුරන් විසිනි. වැදගත් දිනයේ ද සුපුරුදු පරිදි මා ප්‍රමාද වී තිබේ. "නැගිටිනවා නිදිකුම්බරයො.අන්න සුදාර අයියා වෑන් එකත් අරගෙන ඇවිල්ල." යාන්තමට මෙන් මට දිල්හාරා ගේ කටහඬ සවනත වැකුණි. ඒ සමගම සීතල යමක් මගේ කම්මුල හරහා ඇදී යනවා සේ දැනුණි.ඒ මොහොතේ නම් සැබෑවටම මා ඇහැරුණි. එම සීතල දෙය කුමක්දැයි බැලූවිට මට දක්නට ලැබුනේ ෆීඩෝගේ දිවයි.බැනුම් කෝටියක් මැද මමද ගමනට ලැහැස්ති වීමි. පසඟ පිහිටුවා අම්මාට හා තාත්තාට වැන්ද විට ඔවුන් කීවේ "පුතේ උඹ උපරිමයෙන් සතුටු වෙයන්. හැබැයි පරිස්සමින්" යන්නයි. මා මවිත කරමින් සැමදා මා සමග රණ්ඩු දබර කරන නැගණිය දණ ගසා, මගේ දෙපතුල් අල්ලා මාහට වැන්දාය. ඇයට දැන් වයස 11කි. එම දර්ශනය දුටු මගේ දෙමාපියන්ට ද සිනා පහළ විය. අපි ගමන පිටත් වූයෙමු.සුදාර අයියා පැවසුවේ අද අපි නවතින්නේ යක්ෂ දූව අසල ඇති ගම්මානයක තිබෙන ගොවිපලක අයිතිකරුවා වන බර්නාඩ් නම් පුද්ගලයෙකුගේ බංගලාවේ බවයි. පසුදින ඔහු අපව යක්ෂ දූව අසලින් බස්සවා නැවත බර්නාඩ් නම් පුද්ගලයාගේ ගොවිපල බලා යන බවත් ඔහු තවදුරටත් අපට කියා සිටියේය.බර්නාඩ් යන නම ඇසුණු විට සිතට යම් තරමක නුහුරු කමක් මුසු වූ බයක් වැනි හැඟීමක් දැනුනත් ඔහු දුටු විට එම හැඟීම සහමුලින්ම වියැකී ගියේය. වයසක පුද්ගලයකු වුවත් ඔහු ඉතාමත් ප්‍රසන්න,කඩවසම් හා ප්‍රීතිමත් පුද්ගලයෙක් විය. එදින අප ගත කළේ ඔහුගේ ගොවිපොළේ වැඩුණු ස්වභාවික එළවළු හා පළතුරු සප්පායම් වීමෙනි. ඒ අතරතුර ඔහු අපට රාක්ෂ දූව ගැන රස කතා කීපයක්ම කියාදුණි. පුදුමයකට මෙන් පසුදින මා කාටත් ප්‍රථමයෙන් ඇහැරුණි. බර්නාඩ් සීයාගේ රසවත් උදෑසන ආහාරය ලබාගත් අපි ඉක්මනින් ලෑස්ති වූයෙමු.

දිනිදු ප්‍රාර්ථන ලියනගේ විසින් රචනා කරනු ලබන කුතුහලය සොයා යාම කෘතියේ  හතරවන  කොටස.

 

අප ඒ බව ගුරුතුමාට දැන්වූ විට ඔහු අපූරු කතාවක් කීවේය. පුතේ මම කියෙව්ව පොතක ඔය ගැන ලස්සන විස්තරයක් තිබුණා.ඔය රාක්ෂ දූපත මැද තියෙනවාලු කොතක් වගේ හැඩයක් තියෙන පළිඟුවක්. මුළු විශ්වයේම බලය සංකේන්ද්‍රගත වෙලා තියෙන්නේ ඒ පලිඟුව මුදුනෙලු. අර්ථ විරහිතව තිබූ අපේ ගමනට අර්ථයක් එකතු කර දීමට ගුරුතුමාගේ එම කතන්දරය සමත්විය.එතැන් පටන් අපගේ මූලික අරමුණ වූයේ එම පලිඟු පාෂාණය සොයා යෑමයි. නිරෝගේ පියා වන ගමේ සිටි තරමක් පොහොසතෙකු වූ සිරිපාල මාමා ඔහුගේ වෑන් රථය ඔහුගේ රියදුරු වන සුධාර අයියා සමග අපගේ චාරිකාව ගොස් ඒමට දින කිහිපයකට ලබා දෙන බවට පොරොන්දු විය. කෙතරම් පොහොසත් වුවත් සිරිපාල මාමා ඉතාමත් හිත හොඳ මනුස්සයෙක් යැයි කිව හැකිය.ඔහු ගමේ මිනිසුන්ට කර ඇති උදව් උපකාර අප්‍රමාණය.

වාර විභාගයේ ළකුනු අප හට ලැබුණි. නොසිතූ අයුරින් මා ඉතිහාසය විෂය සඳහා ලකුණු 100ම ලබාගෙන පන්තියේ පළමු වැනියා ද වී තිබුණි. සුපුරුදු පරිදි එදින ද පාසල නිමවී අප දිව ගියේ අපගේ නවාතැන වූ තිප්පොල වෙතය.වෙනදාට වඩා විශේෂ උනන්දුවක් ෆීඩෝගේ ද දක්නට ලැබුණු අතර අප සැමගේ සිත් ද ඒ හැඟීමෙන් පිරී තිබිණි.මුලින්ම මම කතාව ආරම්භ කළෙමි. “කවදද දැන් යන්නේ ? “ මම ඇසීමි. “ පොඩ්ඩක් ඉන්නකෝ. මුලින්ම බලන්න ඕනි මොනවද අපි ගෙනියන්න ලෑස්ති කර ගන්නේ කියලා. “ අපේ කණ්ඩායමේ මීටරය වූ දිල්හාරා කීවාය. වාද විවාද වලින් අනතුරුව අනිද්දා දින ගමන යෑමට අපි ලැහැස්ති කර ගත්තෙමු.

දිනිදු ප්‍රාර්ථන ලියනගේ විසින් රචනා කරනු ලබන කුතුහලය සොයා යාම කෘතියේ තුන්වන කොටස.

 

පසුදින අපගේ ඉතිහාසය ගුරුතුමා අපට ඉගැන්වූ එක්තරා ජනප්‍රවාදයකට මාගේ සහ අනෙක් මිතුරන් ගේ අවධානය යොමුවුණි.එය මහා රාවණා රජතුමාගේ එක්තරා අද්භූත දූපතක් පිළිබඳවයි. එය නමින් රාක්ෂ දූවය.එය මහා රාවණ රජතුමා වෙනත් ග්‍රහලෝක සමග සබඳතා පැවැත්වූ ස්ථානයක් බව පැවැසෙයි. එසේම රාක්ෂ දූව කිසිවෙකුටත් බාහිරින් දැකිය නොහැකිය. තවද රාක්ෂ දූවට දිවෙන උමං මාර්ගය පිහිටියේ තවත් එවැනිම දූපතක් වන යක්ෂ දූපතේ බව ගුරුතුමා අපට කියා දිනි.යක්ෂ දූව පිහිටා ඇත්තේ මාතලේ ප්‍රදේශයේ බවද ගුරුතුමා වැඩිදුරටත් කියාසිටියේය. සුපුරුදු පරිදි පාසල නිම වූ විගස අප දිව ගියේ අපගේ තිප්පළ වෙතය. අප එහි ගිය විගසම ෆීඩෝ ද වලිගය වනමින් අප දෙසට දිව ආවේය. එදින අපගේ මාතෘකාව වූයේ රාක්ෂ දූව හා යක්ෂ දූවයි." අපි ඕක බලන්න යමු " පුනපුනා දළුලමින් මගේ සිතෙහි දැඩි ව තිබූ ආශාවක් මම ක්ෂණික ව ඉදිරිපත් කළෙමි." ආහ් අන්න ෂෝක් වැඩේ. " ශාමින්දිගේ බෙරිහන් දීම නිසා නොදැනීම මා දෑතින්ම කන් දෙක වසා ගෙන හමාරය. පැත්තක සිටි ෆීඩෝ ද වලිගය වනමින් මහ හඬින් බිරුම් ලෑවේ ඔහු ද එයට එකඟ වන බව විදහා පාමිනි. සියල්ලෝගෙම එකඟතාව මත එළැඹෙන තුන්වෙනි පාසල් වාර අවසාන නිවාඩු මාසයේ දී ස්ථීරවම ගමන යාමට තීරණය විය.

දිනිදු ප්‍රාර්ථන ලියනගේ විසින් රචනා කරනු ලබන කුතුහලය සොයා යාම කෘතියේ දෙවන කොටස.

 

 

මම නමින් අචින්ත වෙමි. අප ගමෙහි කොලු කුරුට්ටන්ගෙන් යුත් කුඩා කල්ලියක් වූ අතර මම එහි නායකයා වීමි. මා යටතෙහි සිටි සාමාජිකයින් ගණනින් පහකි ඔවුන් නම් ශාන්, නිරෝ, දිල්හාරා හා ශාමින්දි විය.ඒ අතරේ තවත් ආදරණීය සාමාජිකයෙක් විය.ඒ ජර්මන් ෂෙපර්ඩ් වර්ගයට අයත් ෆීඩෝ බලු සුරතලාය. ෆීඩෝ අප සැමගේම සිත් දිනා ගත්තෙක් විය. අපගේ විවිද ක්‍රියාදාමයන් සිදු කිරීම සඳහා අපි තිප්පළක් පවත්වාගෙන ගියෙමු.එය ගමෙන් මදක් ඈත පිහිටියා වූ තරමක් විශාල ගල් ගුහාවක් විය. ගම්මානය කෙතරම් පිටිසර හා දුෂ්කර වුවත් අපගේ තිප්පොල නම් ඊට හාත්පසින්ම වෙනස් එකක් විය. එය ගල් ගුහාවක් වුවද නව තාක්ෂණය සමග ඉතාමත් සමීප සබඳතාවක් පැවැත්වූ ස්ථානයක් බව දුටු සැනින් කාටත් තේරුම් ගත හැකිය. පාසල නිම වූ විගස අප දිව ගියේ නිවස බලා නොව  තිප්පොළ වෙත බව කිව යුතුය.අපගේ සිතුවිලි හොඳින් හඳුනන ෆීඩෝද කල්තියාම ගුහාව අසලට පියමං කිරීම සිරිතකි. සාමාන්‍යයෙන් අපි දිනපතාම පැයක පමණ කාලයක් එහි ගත කිරීමට පුරුදුව සිටියෙමු.

සැබවින්ම ලෝකයේ මා හට අප්‍රසන්නම විෂයක් ඇත්ද එය ඉතිහාසය විෂයම විය. නමුත් දැන් මා එය ඉතා ප්‍රිය කරන විෂයකි. ඒ එක්තරා රජෙකුගේ චරිත කතාවක් නිසාවෙනි. ඔහු අනෙකෙක් නොව මහා රාවණා රජුය.

සැඳෑ අන්ධකාරය විසින් මුළු පරිසරයම වෙලාගන්නා මොහොතක මාගේ ප්‍රිය මිතුරා වන ශාන් ගෙන් මා හට දුරකථන ඇමතුමක් ලැබුණි. ඒ පාසලේදි ඉතිහාසය විෂය උගන්වනු ලැබූ ගුරුතුමා විසින් දෙනු ලැබූ පැවරුම නිම කළේ දැයි දැනගැනීම පිණිසය.මා සිටියේ සුවබර නින්දකය.මව විසින් මා අවදි කරනු ලැබිණි.ඒ ශාන්ගෙන් ලැබුණු දුරකථන ඇමතුම හේතුවෙනි.ශාන් යනු මගේ අඹ යහළුවා විය. තරමක් විශාල හා සුන්දර වූ වනරොදකට හා කුඩා දොළ පහරකට මැදිව පිහිටි අපගේ කුඩා ගම්මානය දුෂ්කර වුවත් සැබැවින්ම සුන්දර හා මනස ඇද බැඳ තබා ගන්නා තරම් කර්ෂණීය විය.මා අධ්‍යාපනය ලැබුවේ අපේ ගමේම පිහිටි කුඩා පාසලකිනි.

උණුසුම් පුවත්

සිරස්තල

Newsletter

Tag Cloud

අද පාසල

ඉතිහාසය

බෞද්ධ සිද්ධස්ථාන

ඉංග්‍රීසි

No result...

චිත්‍ර

සංගීතය

No result...

නැටුම්

No result...

කෙටි කතා

ගද්‍ය නිර්මාණ

No result...

තාක්ෂණවේදය

පරිඝනක

No result...

නිසඳැස්

ක්‍රීඩා